Saturday, December 16, 2017

ආත්මා...
.
3 වන කොටස....
.
"මොනව උනත් කෙල්ලෙ උඹ ඒ කොල්ලට කෙල්ලො එපා වෙන්නම කිව්ව..." සඳා එහෙම කිව්වත් මට නම් මාර දුකයි ඒකට. ඒත් දැන් වෙන්න ඕනෙ දේ වෙලා ඉවරයි නෙ. පව් ඒ කොල්ල.
.
"පව් බං..." මම එහෙම කිව්වෙ ඇත්තටමයි...
.
"මේ... මේ... ඔය උඹ හැරෙන පැත්ත නම් එච්චර හොද නෑ දිනෙත්මා..." සඳා නෝන්ඩියට වගේ එහෙම කිව්වත් මට ඒක දැනුනෙ මීට කලින්.
.
"උඹ මට නිකන් බාල්දි පෙරලන්නෙ නැතුව හිටපං සඳා." මම එහෙම කිව්වෙ සඳා මොනව හරි හිතයි කියල.
.
"දැං උඹනෙ කිව්වෙ පව් කියල. ඒකයි මම කිව්වෙ." සඳා එහෙම කියල තනියෙන් හිනා වෙනව.
.
"මොකද හලෝ තනියෙන් හිනා වෙන්නෙ..?" මම එහෙම ඇහුවම සඳා ඔළුව හෙලෙව්වෙ මොකුත් නෑ කියන්න.
.....
"අනේ සංඛේත්..... මාව බේරගන්න......" මම එහෙම කෑගහගෙනම උදේ නැගිට්ටා.... එතකොටමයි අම්ම කාමරේට ආවෙ තේ එක අරගෙන.
.
"මොකද මොකද දරුවො මේ..." අම්ම එහෙම අහගෙනමයි ඇඳ ලඟට ආවෙ.
.
"මාව කවුරු හරි වෑන් එකක දාගෙන යනව වගේ දැක්ක අම්ම." මම අම්මට කිව්වෙ මම දැකපු හීනෙ ගැන.
.
"එතකොට අර සංඛේත් කියල කිව්වෙ...?" අම්ම එහෙම ඇහුවෙ මගෙ මුණ දිහා බලාගෙනමයි.
.
"දන්නෙ නෑ අම්මා.. මට ඊයෙ ඉඳන් එක එක දේවල් පේනව. පාරෙ යද්දිත් කාර් එකක් අපිව හප්පන්න යනව වගේ දැක්ක..." මම එහෙම කිව්වෙ මට මේ වෙන දේවල් ගැන අම්ම හරි මොනව හරි දන්නව ඇති කියල හිතාගෙන.
.
"අනේ මම දන්නෙ නෑ දරුවො ඕව. ඔය ඔයා හිතින් මවාගත්ත ඒව වෙන්න ඇති. ඒක තමයි කියන්නෙ ඕනෙවට වඩා නාට්ටි, ෆිල්ම් එහෙම බලන්න එපා කියල." අම්ම එහෙම කියල තේ එක මේසෙ උඩින් තියල නැගිටල ගියා...
.
අද ඉරිද. සඳා ඉන්නෙත් අපේ ගෙවල් පැත්තෙමයි. ටිකක් දුර. එහෙටවත් ගියා නම් ඒ හීනෙ ගැන තේරුම් ගන්න තිබුණ. මම එහෙම හිත හිතාම නාගත්තෙ එහෙ යන්න.
.
"අම්මෙ... මම අද සඳාලගෙ ගෙදර ගිහින් එන්නද...?" මම ලෑස්ති වෙලාම අම්මගෙන් ඇහුවෙ අම්ම එපා නොකියන නිසා...
.
"මොකෝ හදිස්සියෙ...?" අම්ම ඇහුවෙ එච්චරයි. එච්චරටම අම්මට මාව විශ්වාසයි.
.
"නෑ අම්මා.... මට කම්මැලි අනේ.. මම ගිහින් එන්නද...?" මම එහෙම ඇහුවෙ අම්ම දෙපාර අහද්දිම කැමති වෙන නිසා...
.
"හා... පරිස්සමින් ගිහින් එන්න.." අම්ම එහෙම අවසර දුන්නෙ මම යාළුවන්ගෙ ගෙවල් වල වැඩිය යන්නෙ නැති නිසා. චන්ඩිය වගේ ලෑස්ති වුනාට මම සඳාගෙ ගෙදර ගිහිල්ලම නෑ.
.
"සඳා ... ඔයාලගෙ ගෙදර කොහෙද තියෙන්නෙ...?" මම සඳාට කෝල් කරල එහෙම ඇහුවෙ අද සඳාත් ගෙදර ඉන්න නිසා.
.
"මොකෝ හදිස්සියෙ...?" සඳා එහෙම ඇහුවෙ කවදාවත් මම සඳාලගෙ ගෙදර යන්නවත් අහල නැති නිසා.
.
"කම්මැලි හිතුන. මම මේ එහෙ එන්න කියල ආවෙ බස් හෝල්ට් එකට." මම එහෙම කිව්වෙ ඒ වෙද්දිත් කෝල් එක පිටම මම බස් හෝල්ට් එක ලඟට ඇවිල්ල හිටපු නිසා.
.
"ඔහොම්මම බස් එකේ නැගල ගැමුණුපුර හංදියෙන් බහින්න. මම එතන ඉන්නම්." සඳා එහෙම කියද්දිම බස් එකක් ආව. මම ඒ බස් එකේ ගිහින් ගැමුණුපුර හංදියෙන් බැස්සෙ සඳා ඉන්නවද කියල බල බල. එතකොටම........
.
.
.
මතුසම්බන්ධයි.........

2 comments: